Tuesday, December 4, 2018

නත්තල

merry christmas සඳහා පින්තුර ප්‍රතිඵල 
                               නත්තල් උත්සවය සේ සමරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතයි. එහෙත් වර්තමානයේ දී මෙය වරදවා වටහාගෙන ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබයි. එය බලවත් වරදකි. නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය.


සත්‍ය ලෙස ම පවසතොත් නත්තල යනු ලෝකය වෙනස් කළ දිනයකි. යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දී ය. ජීවිතය අත්හැර යන්නට සිටි මිනිසුන්ට ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති වූ දිනය යි. ලෝකයට සාමයේ පණිවුඩය ලබා දුන් දිනය යි.

කෙසේ වුව ද කිතු උපත සැමරීමේ සිරිත උන්වහන්සේ උපන් දා පටන් ම හෝ යටත්පිරිසෙයින් උන්වහන්සේ ධරමාන කාලයේ හෝ සිදුවූවක් නොවේ. උපන්දින සමරන්නන් මිථ්‍යාදෘෂ්ඨියක් සේ ජුදා වරුන් විසින් විශ්වාස කිරීම ඊට හේතුව යි. කතෝලික සභාව පිළිගත්තේ ද මේ මතය යි. සරලව ම හා ඍජුව ම කිවහොත් කිතු උපතින් සියවස් කිහිපයක් යනතුරුත් කිතුණු සමාජයේ මේ උත්සවය උත්සවාකාරයෙන් සැමරූයේ නැත. එහෙත් කාලය සමග සියල්ල වෙනස් විය. ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිර යාම වේගවත් වීමත් සමග, ඒ වන විට යුරෝපයේ පැවති සෙසු ආගමික උත්සවවල ද ආභාසය ලබා නත්තල් උත්සවය බිහි විය.

‘නත්තල්’ වදන-

මෙය රෝම බසෙහි නතාලිස් (Natalis) යන වදන හා ඉංග්‍රීසියෙහි නතාල්(Natal) යන වදන අනුව නිපන්නකි‘යි විශ්වාස කෙරේ.

නත්තල් සමරුව ඇරඹීම-

නත්තල් සමරුව ඇරඹීමේ කතාව සමග දැඩි සබඳතාවක් පෙන්වන්නේ ස්කැන්ඩිනේවියානුවන්ගේ යූල්(Yule) උත්සවය යි. ( යූල් උත්සවය යනු කිතු උපතට සියවස් ගණනාවකට පෙර පටන් පැවති ශීත ඍතු උත්සවයකි. මේ උත්සවයේ දී සමරනු ලැබූයේ තෝර් නමැති දෙවියන් ය. තෝර් දෙවියා ගිගිරුමට අධිපති දෙවියා යැයි ස්කැන්ඩිනේවියානුවන් තුළ විශ්වාසයක් පැවතුණි. පිරිමි සතුන් හා වහල් මිනිසුන් බිලි දෙමින් යූල් කඳන් පිළිස්සීම මේ උත්සවයේ දී සිදු විය. උත්සවය අවම වශයෙන් දින 12ක් වත් පැවතුණි. මේ ගිනි තැබීම්වල දී ඇති වන සෑම ගිනි පුළිඟුවකින් ම අලුතෙන් ඌරු පැටවෙකු හෝ වසු පැටවෙකු උපදින බවට ඔවුන් තුළ විශ්වාසයක් පැවතුණි). යුරෝපයේ කිතු සමය පැතිර යාමත් සමග ස්කැන්ඩිනේවියානුවන්ගේ ආගමික විශ්වාස තරමක් දුරට යටපත් වුව ද ඔවුන්ගේ ආගමික උත්සව හා බැඳි ඇවතුම් පැවතුම් හි විශාල වෙනසක් වූයේ නැත. ඒ වෙනුවට ඒ ඇවතුම් පැවතුම් කිතු දහම හා සම්බන්ධ වී නව මුහුණු වරක් ගත්තේය. එහෙත් නත්තලේ උපතට සපුරාම බලපෑවේ යූල් උත්සවය නොවන බව ද සිහි තබි ගත යුතු වේ. අරුත් සුන් උත්සව පවත්වනු වෙනුවට ලෝකයට නව දර්ශනයක් හඳුන්වා දුන්, මිනිසුන්ට නව බලාපොරොත්තු සපයා දුන් උත්තමයෙකුගේ උපතක් සැමරීමේ වැදගත්කම මෙහිදී මුල් වී ඇත.

දෙසැම්බර් 25 නත්තල් සැමරීම-

කිතු සමිඳාණන් උපන්නේ නිශ්චිත වශයෙන් ම දෙසැම්බර් මස විසි පස්වන දින යැයි මතයක් බහුතරයක් ලෝ වැස්සන් අතර දැන් ඇතත් මේ වනාහි අතිශය විවාදයට තුඩු දුන් මතයකි. ශුද්ධ වූ බයිබලයේ පවා මේ පිළිබඳ පැහැදිලි අදහසක් නැත. කිතු උපත සම්බන්ධව ශුද්ධ බයිබලයේ මතෙව් හි ලූත් ගේ සාක්ෂිවල පරස්පරතා පවතී. එය කිතු දහමේ මුඛ්‍ය ඉගැන්වීම්වලට තදින් අදාළ නොවන නිසා මේ පිළිබඳ විග්‍රහ කෙරී නැත. සාමය, සමානාත්මතාව හා සහජීවනය පදනම් කරගත් කිතු සමය තුළ කිතු උපත පිළිබඳ දැඩි තර්කයක් නැත. අනෙක් කරුණ නම් ලෝකයේ සෑම ආගමක ම, දර්ශනවාදයක ම, ඇදහිල්ලක ම, විශ්වාසයක ම ඓතිහාසික තොරතුරුවල සදොස් තැන් තිබේ. ඒවා ද මේ ලෙස ම ඒවායේ මුඛ්‍ය අරමුණට අදාළ නොවන නිසා තර්කයට බඳුන් කිරීමේ ඵලක් නැත.

යොෂුවා- බෙන්- යෙසුෆ් (Yehoshua Ben Yosef)හෙවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලෝකයේ අති බහුතරයක් කිතුණුවන් සමරන්නේ දෙසැම්බර් විසිපස්වන දිනයි. උන්වහන්සේ උපන්නේ දෙසැම්බර් විසි හතරවැනි දින මධ්‍යම රාත්‍රියේ දී ය. ඊට අනුව විසිපස්වන දිනය සමරු දිනය සේ සලකයි. එහෙත් මේ පිළිබඳව ලෝකයේ විවිධ ජාතීන් අතර තවත් මතවාද පවතී. ඒ දින මෙසේ ය.

ජනවාරි 6-

ආමේනියානුවන් ඇතුළු සුළුතරයක් මේ මතයේ හිඳිති. ඔවුන් මේ දිනයේ කිතු උපත සමරන අතර තවත් පිරිසක් මේ දිනය කිතු සමිඳාණන් බව්තීස්මය ලැබූ දිනය සේ සලකා ස්මරණය කරති. තවත් පිරිසක් කියන්නේ ශ්‍රාස්ත්‍රවන්තයන් කිතුසමිඳාණන් වහන්සේ බැහැ දුටුයේ මේ දිනයේ දී බවයි.

මාර්තු 21-

ක්‍රි.ව. 243 දී ලතින් බසින් ලියූ ග්‍රන්ථයක මේ දිනය දක්වා තිබුණි.

අප්‍රියෙල් 18 හෝ 19 –

සුළු පිරිසකගේ අනුමානයකි.

මැයි 20-

ක්‍රි.ව. 150-215 අතර කාලයේ සිටි කිතුණු දේවධර්මාචාර්යවරයෙකු වූ ටයිටස් ප්ලේවියස් ක්ලෙමන්ස් මේ මතය විශ්වාස කළේ ය.

මේ කෙසේ වුවත් සැබෑ නත්තල හෙවත් කිතු උපත සිදු වූයේ දෙසැම්බර් මස විසි පස්වන දිනයේ දී ය යන්න නිල වශයෙන් ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ක්‍රි.ව.දෙසිය හැත්තෑතුනේ දී පමණය. මේ දිනය නත්තල සේ ප්‍රකාශ කළේ ඒ වන විටත් යුරෝපයේ මේ දිනයේ ම තවත් උත්සව දෙකක් ද පැවතීම නිසාය. ඒවායින් සූර්යයාගේ උපත හා මිත්‍රා දෙවඟනගේ උපත සමරන ලදී. මේ මිථ්‍යා වන්දනාවන්ගෙන් ඈත් වී ජනයා කිතුතුමා සැමරීමට යොමු කිරීම මෙහි අරමුණ විය. එහෙත් මේ දිනයට නිත්‍යානුකූල අවසරයක් ලැබෙන්නේ ක්‍රි.ව. තුන්සිය දහතුනේ දී කොන්ස්ටන්ටයින් නිකුත් කළ නිකොමීඩියාආඥාවෙනි. (Edict of Nicomedia) මේ ආඥාවෙන් රෝමයේ එතුවක් තිබූ සෙසු ආගම්වලට ද සහනයක් හිමි වූ අතර කිතු සමයට විශේෂත්වයක් හිමි විය. ඊට අනුව දෙසැම්බර් විසි පහ දින කිතු උපතත්, සූර්යදේව උපතත් යන සමරු දෙක ම පැවත්වුණි. සැටනේලියා උත්සවයත් (සැටනේලියා උත්සවයේ දී සෙනසුරු දෙවියන් වන්දනාවට පාත්‍ර වූ අතර එය දෙසැම්බර් 17 දිනට යෙදී තිබුණි.) , කාලෙන්ඩිස් උත්සවයත් (කාලෙන්ඩිස් උත්සවය මාසයේ ඇරඹුම් දින පූජාවයි.ජනවාරි පළමු දින පැවත්වුණි.) අතරතුර දිනයක නත්තල් උත්සවය සැමරීම නිසා කිතුණුවන්ට සෙසු ආගමිකයන්ට සේ ම නිදහසේ නත්තල සැමරීමට අවස්ථාව උදා විය. මන්දයත් මේ කාලය ම උත්සව සමයක් සේ පිළිගැනුණු හෙයිනි. ක්‍රි.ව. 336 දී පිලෝක්ලියන් කැලැන්ඩරය මගින් ද ක්‍රි.ව. 354 දී ලයිබිරියස් පාප්තුමා විසින් පිළිගැනීම මගින් ද නත්තල් දිනය තවදුරටත් ස්ථාවර විය. එහෙත් ඉතිහාසඥයෙකු හා දේශ සංචාරකයෙකු ද වූ සෙක්ස්ටස් ජුලියන් ඇප්‍රිකානුස් විසින් ක්‍රි.ව. 221 දී පමණ සිට මේ දිනය වඩාත් ජනප්‍රිය කරවීමේ නිරත විය.

Christmas හා Xmas –

ග්‍රීක බසෙහි එන X අක්ෂරය රෝම බසෙහි එන Chi අක්ෂරවලට සමාන අරුතක් දෙයි. මේ නිසා ක්‍රිස්තුස් වහන්සේ හැඳින්වීමේ දී බයිබලයේ ග්‍රීක පිටපත්වල Chi වෙනුවට X අක්ෂරය යොදා ඇත. මේ යෙදුම මුල් කරගෙන Xmas යන ව්‍යවහාරය එන්නට ඇත.

ගවලෙන හා නත්තල-
ගවලෙන හා නත්තල සඳහා පින්තුර ප්‍රතිඵල
යේසුස් වහන්සේ උපන්නේ බෙත්ලෙහෙම් හි ගවලෙනක යැයි පිළිගත් මතයක් ඇත. එහෙත් බයිබලයේ මේ පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් නැත. කෙසේ වුව ද ක්‍රි. ව. 1498 වන විට මේ මතය යම් ස්ථාවර තත්ත්වයකට පත්ව තිබූ බව මේ කාලයේ ඇඳි සිතුවම් මගින් වටහා ගත හැක.

නත්තල් ගස-
නත්තල් ගස සඳහා පින්තුර ප්‍රතිඵල
(ජායාරූප උපුටා ගැනිම අන්තර්ජාලය ඇසුරිනි)

මෙය පුරාණ මිනිසුන් අතර පැවති වෘක්ෂ වන්දනයෙන් ප්‍රභවය වූවකි. ක්‍රිස්තුන් වහන්සේ හා නත්තල් ගස සේ යොදා ගන්නා ගස අතර සබඳතාවක් නැත. 1835 වර්ෂයට අයත් ලියවිල්ලක Christmas Tree යන වදන මුල් වරට හමු වේ. නත්තල ඇරඹීමට පෙර පටන් පැවති යූල් උත්සවයේ දී යූල් ගසට විශේෂත්වයක් හිමි වීම ද මේ නත්තල් ගස නත්තලට විශේෂ වීම කෙරේ බලපාන්නට ඇත.

කැරොල්-
කැරොල්- සඳහා පින්තුර ප්‍රතිඵල



ග්‍රීකයන් රවුම සෑදී සංගීතයක් නොමැතිව ම ගැයූ කෝරස් (Choros) ගායනයෙන් කැරෝල් බිහි වන්නට ඇති නමුදු මුල් කාලීන පල්ලිය විසින් මෙය තහනම් කරන ලදී.විවිධ මතවාද, මතභේදවලට තුඩු දුන් කැරොල් 17 වන සියවසේ ඇමරිකානු රටවල දී දැඩි බාධකවලට ලක් විය. මේ කාලයේ මේ රටවල දී නත්තල හා නත්තලට සම්බන්ධ සෙසු උත්සව ද අභියෝගයට ලක් විය. එහෙත් මහා ගත්කරු චාල්ස් ඩිකන්ස් විසින් Christmas Carol කෘතිය කර 1843 දී ප්‍රකාශයට පත් කළ පසු කැරොල් යළි ජීවය ලැබීය. දැනට පවතින කැරොල් ගායනා රැසක් ම මේ කාලයෙන් පසු නිර්මාණය වූ ඒවා සේ පිළිගැනේ.

නත්තල් කාඩ්-


නත්තල් කාඩ් සඳහා පින්තුර ප්‍රතිඵල

ලොව ප්‍රථම නත්තල් සුභ පැතුම්පත (ජායාරූප උපුටා ගැනිම අන්තර්ජාලය ඇසුරිනි)

දිගු ඉතිහාසයක් නැත. ලන්ඩනයේ වික්ටෝරියා හා ඇල්බර්ට් කටුගෙයි නිර්මාතෘ ශ්‍රීමත් හෙන්රි කෝල් සිය මිතුරන් නත්තල පිළිබඳ දැනුවත් කිරීමට තීරණය කළේය. සත්‍ය ලෙස ම කිවහොත් ඔහුට අවශ්‍ය වූයේ නත්තල් දිනය දා දුප්පතුන්ට උපකාර කරන්නැ‘යි සිය මිතුරන්ගෙන් ඉල්ලා සිටීමට ය. මේ කාර්යය ඔහු විසින් ජෝන් කැල්කොට් හා හෝර්ස්ලි යන නිර්මාණ ශිල්පීන් දෙදෙනාට පවරන ලදුව ඔවුන් විසින් නිර්මාණය කළ මුල් කාඩ්පත් නත්තල් කාඩ්පතට උපත ලබා දුනි. (පින්තූරය බලන්න) වයින් පානය කරන පවුලක රුවක් හා දුප්පතුන්ට උපකාර කරන අයගේ රූපසටහන් සමග ‘සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා’ යන වැකිය ද එහි සටහන් කර තිබුණි. කුඩා දරුවෙකු වයින් පානය කරන දසුන නිසා මේ කාඩ්පත විවේචනයට බඳුන් වුව ද 1875 වර්ෂයේ දී ලුවිස් ෆ්‍රෑන්ක් විසින් ලිතෝග්‍රාෆ් මුද්‍රණයන්ත්‍රය සොයා ගැනීමෙන් පසු නත්තල් කාඩ් පත් ලෝ පුරා ශීඝ්‍ර‍යෙන් ජනප්‍රිය විය.


නත්තල හා කිතුනු උපත
හිටපු මහාධිකරණ විනිසුරු
ඩබ්ලිව්. ටී. ඒ. ලෙස්‌ලි ප්‍රනාන්දු
කිතු සමි¹ණන් මෙලොව බිහිවීම සමරන නත්තල මුළු ලොව පුරාම ඉතා උත්කෘෂ්ඨ අන්දමින් පවත්වනු ලබන උත්සවයකි. එය සෑම රටකම කිතුනුවන් මහත් ප්‍රීති ප්‍රබෝධයෙන් සමරන මහෝත්සවයකි. එය දැන් ආගමික උත්සවයකට වඩා ලෞකික සැණකෙළියක ස්‌වරූපය දරයි.
මෙරටද කිතුනුවන් නත්තල සඳහා සැරසෙන්නේ මාස ගණනාවක්‌ම කල් තබාය. නත්තලට මසකට පමණ කලින් සිට පුවත්පත්වල නත්තල් වෙළෙඳ දැන්වීම් පළවේ. වෙළෙඳසල් නොයෙක්‌ මාදිලියේ ඇඳුම් – පැළඳුම්, ආහාරපාන හා විසිතුරු භාණ්‌ඩ ආදියෙන් පිරී ඉතිරී යයි. නත්තල ආසන්න වෙත්ම සාප්පු සවාරි යන්නන් නිසා අගනුවර මහත් තදබදයක්‌ ඇතිවේ. සාමාන්‍ය මිනිසකුට සිතිය නොහැකි තරම් මිල වටිනා නත්තල් හැම්පර වෙළෙඳසල්වලින් තෑගි දීම සඳහා අලෙවි වේ.
ලංකාවේ සෑම නගරයකම පාහේ ප්‍රධාන හෝටල් වල නත්තල් සඳහා නොයෙකුත් සාදයන් හා බාල් නැටුම්ද සංවිධානය කරනු ලැබේ. රාත්‍රි කාලයේ කොළඹ තරු පහේ හෝටල්වල දක්‌නට ලැබෙන නත්තල් සැරසිලි හා විදුලි බුබුළු ආලෝකය නිසා ඒවා අවට ප්‍රදේශය සුරපුරක්‌ ලෙස දිස්‌වේ.
පෘතුගීසි යුගයේ පටන්ම ලංකාවේ කතෝලිකයන් නත්තල මහත් උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත. මෙරට කතෝලිකයන් මුළු ජනගහනයෙන් 7% ක්‌ පමණ වුවත් නත්තල තරම් මහා පරිමාණයෙන් හා සැණකෙලි ස්‌වරූපයෙන් පවත්වනු ලබන වෙනත් ආගමික උත්සවයක්‌ මෙන් දක්‌නට නොමැත.
මෙසේ නත්තල කිතුනු උපත සැමරීම සඳහා සෑම වසරකම දෙසැම්බර් මස 25 දින පවත්වනු ලබන නමුත් බයිබලයේ කොතැනකවත් ක්‍රිස්‌තුන් වහන්සේ උපන් දිනය සඳහන්ව නොමැත. ඇත්තවශයෙන්ම 3 වැනි ශතවර්ෂය එන තෙක්‌ම නත්තල කිතුනු මංගල්‍යයක්‌ පවා නොවීය. එහෙත් ප්‍රධානතම කිතුනු මංගල්‍යය වූයේ ක්‍රිස්‌තුන් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම සමරන පාස්‌කු මංගල්‍යය විය. බෙත්ලෙහෙම් නුවර වැසි හා කුණාටු සහිත ශීත සෘතුව වූ දෙසැම්බර් මස එෙŒරුන් හා බැටළුවන් රැකබලා ගැනීම සඳහා තැනිතලාවක නිරත වූයේ යෑයි සිතිය නොහැකි අතර නියත වශයෙන් කිතුනු උපත සිදුවූයේ අගෝස්‌තු මස දිනයකදී යෑයි කියනු ලැබේ.
කිතුනු උපතට බොහෝ කලකට පෙර රෝමන්වරුන් දෙසැම්බර් මස 25 වැනි දින හිරු පිදීමේ උත්සවයක්‌ පවත්වනු ලැබීය. 3 වැනි ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳගත් පසු එහි නරපති කොන්ස්‌ටන්ටයින් අධිරාජ්‍යයා රෝමන්වරුන්ගේ හිරු පිදීමේ උත්සවය වෙනුවට එදින කිතුනු උපත සැමරීමට යොදාගත යුතු යෑයි නියෝග කළේය. ක්‍රි. ව. 325 දී පාප් පදවිය දැරූ රෝමයේ අගරදගුරු ලිබෝරියස්‌තුමා දෙසැම්බර් මස 25 දින කිතුනු උපත සැමරීම සඳහා නත්තල් උත්සවය පැවැත්වීම අනුමත කළේය.
මෙසේ කිතුනු උපත හෙවත් නත්තල දෙසැම්බර් 25 දින පැවැත්වීමට සම්මුතියක්‌ ඇතිවූ පසු කලින් පැවැති රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය, ග්‍රීක්‌වරුන්ගේ සැටරනිලා උත්සවය හා යුරෝපයේ අනෙකුත් කාලීන උත්සවයන්ගේ අංගෝපාංග හා සම්ප්‍රදායන් නත්තල් උත්සවය හා සම්බන්ධවී එය විනෝදකාමී සැණකෙළියක්‌ බවට පත්විය.
එහෙත් නත්තල යනුවෙන් සමරන ලබන කිතුනු උපත එවැනි ගාම්භීර සැණකෙළියක්‌ නොවීය. ශාන්ත ලූකස්‌තුමාගේ සුවිශේෂයේ සඳහන්ව ඇති අන්දමට එය ලයාන්විත සිත් සසල කරන පුවතක්‌ වූයේය.
එකල රෝම අධිරාජ්‍යයා වූ ඔගස්‌ටස්‌ සීසර් සියලුම යටත් වැසියනට ජන සංගණනයක්‌ සඳහා තම උත්පත්ති ප්‍රදේශයට පැමිණිය යුතු යෑයි නියෝග කළේය. මේ අනුව දාවිත්ගේ රාජ්‍ය වශයෙන් පැවැත ආ ශාන්ත ජුසේතුමා ගැබ්බර මරියතුමිය සමඟ දාවිත්ගේ නුවර වූ බෙත්ලෙහෙම් නගරය කරා පැමිණියේය.
එදින බෙත්ලෙහෙම් නුවර තානායම් සියල්ල පිරී ඉතිරී පැවැති හෙයින් අසරණ ජුසේතුමාට සහ මරියතුමිය ලැගුම් ගැනීමට සිදුවූයේ බෙත්ලෙහෙම්නුවර කොනක පාළු ගව ලෙනකය. මෙම ගවහලේදී විළිරුදාව ලත් මරියතුමියට ගව ඔරුවක දිව්‍ය බිළි¹ මෙලොවට බිහි කළාය.
ලෝකය පවින් ගලවා ගැනීම සඳහා මෙලොවට මාංභගතවූ දෙව් මහෝත්තමයාණන් වූ ඒ දිව්‍ය බිළි¹ මෙලොවට බිහිවූ ඒ ශුභාරංචිය සුර දූතයන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ බෙත්ලෙහෙම් නුවර බොජුන්හල්වල හා තානායම්වල කමින් බොමින් හා නටමින් ප්‍රීති වූ වරප්‍රසාද ලත් උසස්‌ පංතියට නොව අසල තැනිතලාවක තම බැටළුවන් රැක බලා ගනිමින් සිටි අහිංසක එඩේරුන්ටය.
එම අසරණ එඩේරු එම ශුභාරංචිය ලද විගසම ගවලෙන වෙත දුව විත් තම හදපත්ලෙන් නැගී ආ සොම්නසින් යුතුව දිව්‍ය බිළි¹ ඉදිරියේ වැඳ වැටුණේය. පෙරදිග රජවරුන් තිදෙනෙක්‌ පවා වල්ගා තරුවක මග පෙන්වීම අනුව දිව්‍ය බිළි¹ සොයාවිත් රත්තරන්, සුවඳ දුම් හා සුවඳ ලාටු තෑගි වශයෙන් පුද කළේ මෙම ගවහලේදීය.
මේ අනුව කිතුනු උපත දෙසැම්බර් මස 25 දින සිදුවූ මහත් තේජාලංකාර ශ්‍රී විභූතියෙන් මහිමාන්විත වූ සිද්ධියක්‌ නොවන නමුත් පසු කලකදී ක්‍රිස්‌තෝත්පත්තිය හා සම්බන්ධ වූ සම්ප්‍රදායයන් හා සම්බන්ධ වීමෙන් නත්තල කිතුනු උපත නිරූපණය කරන උත්සවයක්‌ බවට පත්වූයේය.
මෙම නත්තල් සම්ප්‍රදායයන්ගෙන් මුල් තැන හිමිවනුයේ මධ්‍යහන යුගයේදී ශාන්ත ප්‍රැන්සිස්‌ අසිසිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ ගවලෙනටය. නත්තල් සමයේදී සෑම දෙව්මැඳුරක මෙන්ම කිතුනු නිවසක ද ගව හලක කිතුනු සමි¹ණන්ගේ උපත ද දක්‌වන ගවලෙනට විශේෂ තැනක්‌ හිමිවේ. බොහෝ නත්තල් ශුභ පැතුම් පත්වලද ගවලෙන දක්‌වන චිත්‍රයක්‌ දක්‌නට ලැබේ.
කැරොල් ගායනයද තවත් විශේෂ නත්තල් සම්ප්‍රදායයකි. කැරොල් ගායනයෙහි ප්‍රධාන තේමාව සුර දූතයන් කිතු උපත එෙŒරුන්ට ප්‍රකාශ කිරීම වන අතර නත්තල් සමයේදී කැරොල් ගායනය ලොව පුරාම පවත්වනු ලැබේ. ලංකාවේද පෘතුගීසි සමයේ පටන්ම කැරොල් ගායනය ඉතා ජනප්‍රියව පවතී.
එදා මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙයෙන් පසුව කැරොල් ගායනා කණ්‌ඩායම රැගත් නත්තල් කැරොල් කරත්තය එළිවනතුරුම ගම් දනව් සැරිසැරීය. කුඩා ළමුන් දෙව් දූතයන් මෙන් සුදු ඇඳුමෙන් සැරසී සුදු පසුබිමකින් යුතුව පෙරදිග තාල අනුව පැවැති එදා කැරොල් ගායනය මනස්‌කාන්ත දර්ශනයක්‌ විය.
ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට බිහිවූයේ අන්ත අසරණ දූගී බිළිඳකු වශයෙන් නිසා නත්තල් සමයේදී දූගී දූ දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ. ඒ අනුව දිළිඳු දරුවන්ට සෙල්ලම් බඩු හා අනෙකුත් තෑගි ගෙනෙන නත්තල් සීයා සෑම රටකම දක්‌නට ලැබෙන නත්තල් විශේෂාංගයකි. නත්තල් උත්සවය පැවැත්වීමට කලින් තිබූ සම්ප්‍රදායයන් නත්තලට ඈඳාගත් ලක්‌ෂණයක්‌ බවට පත්වූ නත්තල් ගස ද තෑගි බෙදා දීම සඳහා යොදා ගනු ලැබේ.
කිතු උපතේදී දිව්‍ය බිළි¹, මරියතුමිය හා ශාන්ත ජුසේතුමා ගවලෙනෙහි එකට සිටීමේ හේතුවෙන් නත්තල් පවුලේ උත්සවයක්‌ වශයෙන් සලකනු ලැබේ. නත්තල් දින නොයෙක්‌ ප්‍රදේශයන්හි සිටින පවුලේ සියලු දෙනාම නත්තල සඳහා දෙමවුපියන්ගේ ආශිර්වාදය ලබාගැනීම සඳහා මුල් ගෙදරට පැමිණීමද නත්තල් සම්ප්‍රදායයකි. එමෙන්ම නත්තලින් පිළිබිඹු වන සාමයේ හා සුහදතාවයේ පණිවුඩය සංකේතවත් වන නැදෑ හිතමිතුරන් බැහැදැකීමද තවත් නත්තල් සිරිතකි.
එසේ සෑම අවස්‌ථාවකදීම නත්තල් සමයේදී දුර බැහැර සිටින නෑදෑ හිතමිතුරන් බැහැ දැකීම කළ නොහැකිය. 19 වැනි ශතවර්ෂයේ අග භාගයේදී එංගලන්තයේ තැපැල් මගින් නත්තල් සුබ පැතුම් යෑවීම ආරම්භ විය. පසුව නත්තල හා එයට ආසන්නව පැමිණෙන නව වසර වෙනුවෙන් ශුභ පතමින් නත්තල් කාඩ් යෑවීම ජනප්‍රිය වී එය නොයෙක්‌ රටවල පැතිර ගියේය. මෙම නත්තල් පත් කිතු උපත දැක්‌වෙන ගවලෙන, රජතුන්කට්‌ටුව, දිව්‍ය බිළිඳා බැහැදැකීම හා අනෙකුත් නත්තල් සිද්ධීන් රැගත් පින්තූරවලින් අලංකාර විය.
නත්තල් සමයේදී ක්‍රිස්‌තු උපත හා එයට සම්බන්ධ සිද්ධීන් අළලා නත්තල් නාට්‍ය ලොව පුරාම රඟ දක්‌වනු ලැබේ. මෙරටේද පෘතුගීසි යුගයේ පටන්ම නත්තල් නාට්‍ය රඟදක්‌වනු ලැබීය. 1613 දී ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොව මාංශගතවීම අළලා නත්තල් නාට්‍යයක්‌ රඟදක්‌වන ලද බව වාර්තාකොට ඇත්තේය.
ලංකාවේ මුල්ම නාට්‍ය සම්ප්‍රදාය වන නාඩගම් බිහිවී ඇත්තේ ද නත්තල ආශ්‍රයෙනි.ස්‌ව¨¨¨ර්ගස්‌ථ එඩ්මන්ඩ් පීරිස්‌ හලාවත හිටපු රදගුරුතුමා පෙන්වාදෙන පරිදි මෙරට ප්‍රථම නාඩගම වනුයේ ඇම්. ඇස්‌. ගේබ්‍රියෙල් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද “රජතුන්කට්‌ටුව” නාඩගම වේ. මෙය ක්‍රිස්‌තෝත්පත්තිය හා පෙරදිග රජවරුන් තිදෙනකු දිව්‍ය බිළිඳා බැහැදැකීම වඩා සම්පාදනය කොට ඇත.
“රජතුන්කට්‌ටුව” නාඩගම සාර්ථක වූ හෙයින් එයින් පසු සාන්තුවරයන්ගේ ජීවිත කථා හා අනෙකුත් ක්‍රිස්‌තියානි තේමාවන් අළලා නාඩගම් රඟදක්‌වා ඇත. කලක්‌ යැමේදී නාඩගම් සම්ප්‍රදාය මෙරට ජනප්‍රිය වී ආගමික නොවන තේමාවන් යටතේ රටපුරා නාඩගම් බිහිවී ඇත. නත්තල ඇසුරෙන් ආරම්භ වී ඇති නාඩගම් සම්ප්‍රදාය කතෝලිකයන් විසින් ඇතිකරන ලද මහඟු දායාදයකි.
එහෙත් දැන් තත්ත්වය වෙනස්‌ වී ඇත. එදා කිතු උපත පිළිබිඹු කළ නත්තල් සම්ප්‍රදායන් මෙදා ලෞකික, වාණිජමය හා වෙළෙඳපොළ ප්‍රයත්නයන් හමුවේ යටපත් වෙමින් පවතී.
අද නත්තල් ගවලෙන එහි තිබෙන ශුද්ධවත්භාවය හා සරල සුන්දරත්වයට වඩා තම පුරාඡේරුව ප්‍රදර්ශනය කරන භාණ්‌ඩයක්‌ බවට පත්ව ඇත. දැන් එදා තැබූ නත්තල් නාට්‍ය නත්තල් සංගීත සංදර්ශන විසින් යටපත් කොට ඇත.
එමෙන්ම මෙකල ගම් දනව් දෙවනත් කරමින් බටහිර සංගීතයෙන් ඝෝෂා කරමින් රථවාහන වලින් සැරිසරන කැරොල් ගායනයෙහි කැරොල් කරත්තයෙහි සිරියාව දක්‌නට නොමැත. තවත් බොහෝ හෝටල්වල සංකීර්ණ නාද රටාවෙන් පවත්වනු ලබන කැරොල් ගායනයෙහි ආධ්‍යාත්මික හා භක්‌තිගීත ස්‌වරූපය ගිලිහී ගොස්‌ ඇත.
එදා අසරණයන්ට පිහිටවීමේ සංකේතයක්‌ වූ නත්තල් සීයා දැන් වෙළෙඳ දැන්වීම් ප්‍රවාරය කිරීමේ මාධ්‍යයක්‌ බවට පත්වී ඇත. එක්‌ වසරක එක්‌තරා වෙළෙඳ දැන්වීමක නත්තල් සීයා අරක්‌කු බෝතලයක්‌ අතින් රැගෙන සිටිනු දක්‌නට ලැබිණි. ඇතැම් අවස්‌ථාවල දැන් නත්තල් සීයා වෙරිමතින් බයිලා තාල අනුව රඟදක්‌වමින් මුදල් එකතු කරනු දක්‌නට ලැබේ. තවත් බොහෝ නත්තල් උත්සවයන්හි නත්තල් ගසින් නත්තල් සීයා ලවා ළමයින් කීප දෙනකුට තෑගී බෙදාදීමට සලස්‌වා එයට වඩා අනෙක්‌ අය කා බී විනෝද වී එයට ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා වැඩි මුදලක්‌ වියදම් කරති.
සමහරු කුමන වර්ගයේ නත්තල් පතක්‌ වුවද ශුභ පැතීමක්‌ බව අමතක කරමින් තමන්ගේ මහේශාඛ්‍ය බව පෙන්වීමට නත්තල් කාඩ් සඳහා නිකරුණේ මුදල් නාස්‌ති කරයි. දැන් බොහෝ බටහිර රටවල නත්තල් ශුභ පැතුම් පත්වල නත්තල හා සම්බන්ධ චිත්‍රයක්‌ වෙනුවට තමන්ගේ ඡායාරූප ඇතුළත් කරයි. නොබෝ දිනකින් මෙය ලංකාවේ ද පැතිර යැමට ඉඩ ඇත.
තවත් සමහරු නත්තල් හැම්පර නමින් හඳුන්වනු ලබන විස්‌කි, බ්‍රැන්ඩි ඇතුළත් තෑගි භෝග නත්තල නමින් උසස්‌ අයට ප්‍රදානය කොට තම තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට, ව්‍යාපාර දියුණු කර ගැනීමට හා අනෙකුත් වාසි, ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නත්තල යොදා ගනිති.
මේ අතර බොහෝ තැන්හි සුරාපානය කොට ගී ගයමින් හා බදාගෙන නැටුම් පවත්වමින් නොයෙකුත් විකාර කරමින්, පවත්වන නත්තල් සාද ක්‍රිස්‌තු උපතට කරන්නේ මහත් අගෞරවයකි. මෙරට අනෙකුත් ආගමික උත්සවයන්හි මත්පැන් අත්‍යවශ්‍ය අංගයක්‌ බවට පත්ව ඇත.
මේ අනුව නත්තල යනුවෙන් අප සමරන්නේ නියත වශයෙන් ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට බිහිවූ දිනය නොවීම නොසලකා හැරීමට හැකි වුවත් වාණිජත්වයට මුල්තැනදී නත්තල නමින් මහත් සැණකෙළි ස්‌වරූපයෙන් පවත්වන සරුවපිත්තල උත්සවය වෙනුවට ක්‍රිස්‌තුන් වහන්සේ ගවලෙනක ඉපදී දැක්‌වූ ආදර්ශයට ගැළපෙන පරිදි කිතු උපත අධ්‍යාත්මයට මුල්තැනදී සරල අන්දමින් පැවැත්වීමට පියවර ගත යුතුය. එමෙන්ම ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොව ගත කළ සරල දිවිය අනුව යමින් අප කතෝලික සිරිත් විරිත් සම්ප්‍රදායයන් හා සංස්‌ථා හැඩගැස්‌සවීමට අප කතෝලිකයන් උත්සුක විය යුතුය.
                                                                             ( මෙහි ඈති තොරතුරුhttp://all.lk යන අඩවියෙන් උපුටා ගන්නා ලදී...kalana kavinda)


Share:
Location: wandinahelayaya,Wellawaya, ශ්‍රී ලංකා

0 comments:

Post a Comment

@kalanakavinda2k21. Powered by Blogger.

Followers

Total Pageviews

Blog Archive

Recent Posts

Popular Posts